ලකයි – සිකයි අතිශය ප්‍රථම සිනමා ප්‍රවිෂ්ඨය
” සුර දෙටුවෝ” දිවයින පුරා සිනමා ශාලාවන් රැසක මේ වන විට අති සාර්ථක ලෙසින් ප්‍රදර්ශනය වෙමින් පවතී . මෙය, ලකයි-සිකයි නමින් රටම හඳුනන විකට කට්ටුවේ ලකා නොහොත් ලක්මාල් වීරසිරිගේ කුළුදුල් සිනමා ප්රවේශයයි . මෙහි ඇතුළත් සියලුම ගීත ලියා ඇති ඔහු , තිර රචනය සඳහාද දායකව ඇත .

” සුර දෙටුවෝ” සිනමා සිත්තම තුළින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ , රැකවල් දූතයන්( ගාඩියන් ඒන්ජල්ස්) දෙදෙනකුගේ රැකවරණය ලබන සුරතල් පුංචි දියණියක් පිළිබඳව විවරණයකි. අහම්බයෙන් මේ පුංචි දියණියට ලැබෙන රැකවල් දූතයෝ දෙදෙනා එකිනෙකාට වෙනස් ගති පැවතුම් වලින් යුක්ත වූවත් , ඒ දෙදෙනාම පුංචි දෝණිව බොහොම ආදරයෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටී. මෙම රැකවලුන් දෙදෙනා පෙනෙන්නේ සහ ඔවුන් පවසන දේ ඇසෙන්නේ පුංචි දියණියට පමණි . මේ දියණිය හැදී වැඩෙන ළමා නිවාසය ආරම්භ කළ යුවළ මියගිය පසුව , දියණිය සහ එම ආයතනය සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් කුමන්ත්රණකාරී මෙහෙයුමක් ක්‍රියාවට නංවමින් සිටින බව රැකවල් දූතයන් දෙදෙනාට වැටහීමත් සමගම , ඔවුන් ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට පටන් ගනී. පෙනෙන – නොපෙනෙන දෙපිරිසගේ ක්‍රියාන්විතයක් සේම ,මේ තුළ ආදරය , කුතුහලය සහ හාස්‍ය රසය උපරිමව කැටිකල ,පවුලේ සැමට එකට එක්ව නැරඹීමට හැකි නිර්මාණයක් ලෙස නිමවා ඇත.
මෙහි රංගනයෙන් ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ , හඳුන්වා දෙන ළමා නිළි නෙතිනි දුලන්මා වීරසිරි සමගින් දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක ,අජිත් වීරසිංහ, දර්ශන් තවරාජා ,සුහන්දි වෝසදී , ශාලිකා නදීශානි , ගීත්මා බණ්ඩාර , සුදීක්ශා සමාධි, ධනංජය සිරිවර්ධන, මනේජ් සංජය , දිනේෂ් තරංග ඇතුළු පිරිසක් දායකවී ඇත. සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සමගින් ප්‍රියනාත් විදානපතිරණ එක්ව ලියු තිර රචනය , සුදේශ් මුතුනවගොන්න විසින් ” සුර දෙටුවෝ ” නමින් නිෂ්පාදනය කර ඇති අතර , කැමරා අධ්‍යක්ෂණයෙන් මාධව කමල්සිරි , සංස්කරණයෙන් පැතුම් සඳරුවන් සමගින් මාධව කමල්සිරි , සහය අධ්‍යක්ෂණයෙන් තරිඳු ආරච්චිගේ, ශබ්ද පරිපාලනයෙන් සශින් ගිම්හාන් පෙරේරා , විධායක නිෂ්පාදනයෙන් අරුණ ජයවර්ධන , නිෂ්පාදන සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකුහේවා , වර්ණ සංයෝජනයෙන් සහ පසු නිෂ්පාදන අධීක්ෂණයෙන් ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂණයෙන් අකුරම්බොඩ පියතිස්ස , ඇඳුම් නිර්මාණයෙන් පවිත්‍රා අබේසිංහ, ගීත රූප රචනයෙන් චාරුක දුශ්‍යන්ත , ගීත ගායනයෙන් ලක්මාල් වීරසිරි, ශාන් ආරෝෂ , නෙතිනි වීරසිරි, මනේජ් සංජය සමගින් සෙතිනි වීරසිරි එක්වී ඇති මෙහි ගී තනු නිර්මාණය සහ පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කසුන් කල්හාර ජයවර්ධන සමගින් නිසාම් ගුණසිංහ එක්ව සිදු කර ඇත.
සටහන – ඇන්ටන් ජේ ප්‍රනාන්දු
සුර දෙටුවෝ මංගල දර්ශනයේ ඡායාරූප – චාරුක පෙරේරා




