දසුනි සෙනෙත්මා කියන්නේ මේ දවස්වල ටෙලි නිර්මාණ තුනක් හරහා අපි හමුවෙන චරිතයක්. හිරු නාළිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයිහි යෙනුකී විදියටත් සිරස නාළිකාවේ විකාශය වන නීල පබළු ටෙලි නිර්මාණයේ අමායා ලෙසත් ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන දිව්‍යාදරී ටෙලි නිර්මාණය හරහාත් ඇය අපේ ආලින්දයට ගොඩවෙනවා. රජිත හිරාන්ගේ රයිඩර් සිනමා පටය ඔස්සේ සිනමා ගමන ඇරඹූ ඇය පසුගියදා ඇගේ ගමන ගැන මෙසේ කියා තිබුණේ සිළුමිණ පුවත්පතේ රසඳුන අතිරේකය සමඟ එක් වෙමින්.

රයිඩර් චිත්‍රපටයට මට ආරාධනා ලැබෙන්නෙ අධ්යක්ෂ රජිත හිරාන් අයියගෙන්. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වගේම මගේත් පළමු සිනමා අත්දැකීම මේක. මීට අවුරුද්දකට විතර කලින් රූගත කිරීම් කළේ. ඒ වෙද්දි මගේ ටෙලි නිර්මාණ 4ක් විතර විකාශය වෙමින් තිබුණා. ඒ නිසා චිත්‍රපටයකට සම්බන්ධ වෙනව කියන බය මට දැනුණෙ නෑ. රජිත අයිය ඇතුළු කණ්ඩායමත් එක්ක සහයෝගයෙන් වැඩ කළ නිසා ලොකු අපහසුවක් දැනුණෙත් නෑ. උද්ඝෝෂණයක් නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් පන්ති තහනමකට ලක්වෙලා ඊට පස්සෙ මුහුණදෙන්න වෙන සිදුවීම් එක්ක ඔහුගේ අනාගතය විසඳෙන විදිහ තමයි මේකෙන් කියන්නේ. රොෂාන් රණවන අයියත් එක්ක ප්‍රධාන චරිතය කරන්නෙ මම. මං රඟපාන්නේ එයාගෙ පෙම්වතියගේ චරිතය. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. අභියෝගයක් තිබුණෙ නැත්තෙත් නෑ. බොහෝදුරට ඒ චරිතය සාර්ථකව කළා කියලා හිතනවා.“
රජිත හිරාන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණයේ ප්‍රධාන භූමිකාවට ඇය යොදා ගැනීමෙන් හෙළි වූ අතීත කතාවක් ගැනද ඇය කියා තිබුණා

“පොඩි කාලෙ ඉඳන්ම රජිත අයිය මං ගැන දන්නවා. ඒත් මේ චිත්‍රපටයට මාව ගන්න අදහස් කරල තිබුණේ පොඩි කාලෙ හිටියෙ මං බව දන්නෙ නැතුව. එයා මගේ ෆෝන් නම්බර් එක හොයාගෙන තිබුණෙත් ගොඩක් අමාරුවෙන්. කොහොමහරි ෂූටින් කරද්දි තමයි නියම කතාව හෙළි වුණේ. අන්තිමට බලාගෙන යද්දි රජිත අයිය මං පොඩි කාලෙ මාව වඩාගෙන ෆොටෝ එකකුත් අරන් තිබුණා. එයත් දැනන් ඉඳල නෑ මේ හොයන්නෙ පොඩි කාලෙ හිටිය මං කියලා. ඒකත් හරි සුන්දර අත්දැකීමක් වුණා.“
ඇගේ ගමන ගැන ඇය මෙසේ කියා තිබුණා.

“මං කලාවට පිවිසෙන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන තරගාවලියෙන්. ඊට පස්සෙ ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඊටත් පස්සෙ තමයි සුපර් ඩාන්සර් තරගයට ඉදිරිපත් වුණේ. එතැනදියි මට රංගනයට කැමැත්තක් ඇති වුණේ. කැමරාවක් ඉදිරියේ මුලින්ම රංගන අත්දැකීමක් ලැබුවේ සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයෙන්. ඊට පස්සෙ මහවිරු පණ්ඩු, රැල්ල වෙරළට ආදරෙයි, නීල පබළු, දිව්‍යාදරී වගේ ගොඩක් ජනප්‍රිය නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ චිත්‍රපට තුනකටත් සම්බන්ධ වුණා. මුලින්ම සම්බන්ධ වුණේ රජිත හිරාන්ගේ රයිඩර් චිත්‍රපටයට. ඒකම තමයි මුලින්ම තිරගත වුණෙත්. ඊට පස්සෙ සනත් ගුණතිලක සර් අධ්‍යක්ෂණය කරන ගඟුලක ගිනියම චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක නම් තාම ලංකාවෙ ප්‍රදර්ශනය වුණේ නෑ. අනිත් එක ලස්සන අයියගෙ විලන් චිත්‍රපටය. තාම ප්‍රදර්ශනය වුණේ රයිඩර් විතරයි. විලන් චිත්‍රපටයත් ළඟදීම ප්‍රදර්ශනය වේවි. මේ සිනමාපට තුන හරහාම මට විවිධ අත්දැකීම් ලබා ගන්න පුළුවන් වුණා. තවත් සිනමා නිර්මාණ දෙක තුනකට ආරාධනා ලැබුණත් කාර්යබහුලත්ව නිසා මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ටෙලි නිර්මාණ තුනකටත් ආරාධනා ලැබිල තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඒවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.“